නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
div class=“epigraph”> ‘සහස්සම්පි වේ ගාථා - අනත්ථපදසංහිතා
එකං ගාථා පදං සෙය්‍යො - යං සුත්වා උපසම්මති’

බුදුපියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී, එක්තරා පිරිසක් ඉන්දියාවේ-දඹදිව -ඈත ප්‍රදේශයක ඉඳලා මුහුදට පිටත් වෙලා ගියා නැවකින්. ලොකු පිරිසක්. නැව මුහුද මැද දී කැඩිලා ඒ මිනිස්සු හැම දෙනෙක්ම වාගේ මුහුදු බත් වුණා. එක්කෙනෙක්, බාහිය කියල නම ඇති එක මනුෂ්‍යයෙක් පමණක් ලැල්ලක් අල්ලාගෙන පීනලා පීනලා අමාරුවෙන් සුප්පාරක පටුනට ගොඩ බැස්සා. මේ අවස්ථාව වෙන කොට මේ මනුෂ්‍යයට හරියට වස්ත්‍රයකුත් නෑ. ලී කැබලි එකතු කරල, පොඩි පොඩි ලී කැබලිවලට ගස්වල පොතු එහෙම සම්බන්ධ කරල, වස්ත්‍රයක් හදාගත්තා. ඊළඟට ඒ සුප්පාරක පටුනේ ගම්වලට පිණ්ඩපාතයේ ගියා. එතකොට මේ තැනැත්තාගේ අමුතු ඇඳුම නිසා මනුෂ්‍යයින් මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා ලොකු ගෞරවයකින් පූද සත්කාර කළා. මේ තැනැත්තත් ඉතින් කලක් යනකොට හැදින්වුනේ බාහිය දාරුචීරිය කියල. දාරුචීරිය කියල කියන්නේ අර වල්කළා - එහෙම නැත්නම් ගස්වල පොතු වලින් හදාගත්තු වස්ත්‍රයක් - ඇදගෙන ඉන්න නිසා. ඒ වගේම තාපසයෙක් හැටියට මේ තැනැත්තා කාලය ගත කරනවා. හැමෝම රහතන් වහන්සේ කෙනෙක් කියල කියන නිසා හිතුනා ‘මම සමහර විට රහත් කෙනෙක් වෙන්න ඇති’ කියලා. මේ විදියට හිතිවිල්ල ඇති වෙනවත් එක්කම මේ තැනැත්තාගේ අතීතයේ ඥාති සම්බන්ධතාවක් ඇති දේවතාවෙක් ඉදිරිපත්වෙලා කීව, “බාහිය ඔබ රහත් කෙනෙක් නෙවෙයි. රහත් මාර්ගයට පිළිපන් කෙනෙක්වත් නෙවෙයි”. “එහෙම නම් කවුද රහත් වෙලා ඉන්නෙ ලෝකේ” කියල ඇහුවා. එතකොට ‘අන්න උතුරු දිශාවේ සැවත් නුවර වැඩ සිටිනවා තිලෝගුරු බුදුපියාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනවා. උන් වහන්සේයි මේ තත්ත්වයට පැමිණිලා තියෙන්නේ’ කියල කිව්ව.

  ඒ එක්කම ඒ තැනැත්තාට විශාල ශ්‍රද්ධාවක්, ලොකු ඕනෑකමක්, ඇති උනා බුදු පියාණන් වහන්සේ දකින්න. මහා දුර මාර්ගයක්. යොදුන් ගණක් දුර මාර්ගයක්. ඒ ඒ තැන්වල එක් රැයක් පමණක් නවතිමින් දීර්ඝ මාර්ගය ගෙවමින් මේ තැනැත්තා ගියා බුදු පියාණන් වහන්සේ සොයාගෙන. එතකොට එක දවසක්දා උදේ වරුවෙමයි සැවත්නුවර ජේතවනාරාමයට පැමිණියේ. පැමිණෙන වෙලාව වෙනකොට සංසයා වහන්සේලා එළිමහනේ සක්මන් කරමින් සිටිනවා. දුවගෙන ඇවිල්ලා ඇහුවා, “කෝ අර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන් වහන්සේ දකින්නටයි මම මේ තකහනියක් ආවේ” කියලා. ඒතකොට සංසයා වහන්සේලා කීවා “බාහිය, බුදුරජාණන් වහන්සේ ඔන්න පිණ්ඩපාතේ වැඩම කළා” කියලා. බාහිය එතනින් නැවතුනේ නෑ. ඊළඟට පස්සෙන් දුවගෙන ගියා. බුදු පියාණන් වහන්සේ සැවැත්නුවර පිණ්ඩපාතේ වඩිනවා දකිනවත් එක්කම විශාල ශ්‍රද්ධාවක් ඇති වුනා. ඉතාම ශාන්ත, ඒ උපශාන්ත ඉන්ද්‍රියයන් ඇති බුදුරජාණන් වහන්සේ දැක්ක හැටියෙම, පා ළහ වැද වැටිලා “අනේ, භාග්‍යවතුන් වහන්ස මට ධර්මය දේශනා කරන්න කියල” ඉල්ලා හිටිය. බුදු පියාණන් වහන්සේ මොන හේතුවකින් නමුත් කියනව “බාහිය මේ ධර්මය දේශනා කරන වෙලාව නොවෙයි. අපි පිණ්ඩපාතේ වඩින වෙලාව” කියල. කිව්වහම බාහිය නැවතත් ඇවිටිලි කරනව “අනේ මම දන්නෙ නෑ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය කොයි වෙලාවේ නැතිවෙයිද, මගේ ජීවිතේ කොයි වෙලාවේ නැතිවෙයිද, ඒක නිසා මට කොහොම හරි ධර්මය ටිකක් කියන්න” කියල. ආයෙත් බුදු පියාණන් වහන්සේ කිව්වා “නෑ බාහිය මේ බණ කියන වෙලාව නෙවෙයි අපි පිණ්ඩපාතේ වඩින වෙලාව”. තුන්වෙනි වරටත් ආයෙත් ආරාධනා කළා “අනේ භාග්‍යවතුන් වහන්ස මම දන්නෙ නෑ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය කොයි වෙලාවේ නැතිවේයිද, මගේ ජීවිතේ කොයි වෙලාවේ නැතිවේයිද කියල. ඒක නිසා ඉක්මණට බණ ටිකක් හරි කියන්න” කියල. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඉතාම කෙටි දේශනාවක් කළා. සරල හැටියට පෙනෙන නමුත් - මහ ගැඹුරු අදහසක් ඇති දේශනාවක්. ඒකේ අදහස වශයෙන් ගත්තොත් මෙන්න මෙහෙමයි.

“එසේනම් බාහිය මෙන්න මේ විදියට හික්මෙන්න. එසේ නම් කියල කිව්වේ - එහෙමනම් කියල කිව්වේ - ඔන්න මට දැන් ඇවිටිලි කරනව නම් මෙන්න මේ විදියට හික්මෙන්න කියල දේශනාවක් කළා.”තස්මාතිහ බාහිය එවං සික්ඛිතබ්බං.” එසේනම් බාහිය මෙන්න මේ විදියට හික්මෙන්න. කොයි විදියටද?

‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති
සුතෙ සුතමත්තං භවිස්සති
මුතෙ මුතමත්තං භවිස්සති
විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති’

දුටුවෙහි - දුටුවෙහි කියල කියන්නේ දුටුදේ කියන අදහස වගෙයි. දුටුවෙහි දුටු පමණක්ම වන්නේය. ඇසුනෙහි ඇසුනු පමණක්ම වන්නේය. “සුතේ සුතමත්තං භවිස්සති” “මුතේ මුතමත්තං භවිස්සති”. මුත කියල කියන්නේ දැනුන කියන එකයි. දැනීම එතන හඳුන්වන්නේ. නැහැයටයි, දිවටයි, කයටයි දැනෙන හරියට මුත කියල වචනයක් යොදනව. දැනීම කියල ගන්න පුළුවන්. නැහැයටයි, දිවටයි, කයටයි දැනෙන දැනීම විශේෂ දැනීමක්. ඒකට මුත කියල කියනව. එතකොට දැනුනෙහි දැනුන බව පමණක්ම වන්නේය. “විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති”. විඤ්ඤාණ කියලා කියන්නේ හිත නේ. හිතෙන් දැන ගත්තු දෙයෙහි, දැනගත් දෙයෙහි, එහෙම නැත්නම් හිතුනු දෙයෙහි. අපට කියන්න පුළුවන් ඕන නම් දැනගතුයෙහි, නැත්නම් දතුයෙහි. දත්දෙය පිළිබදව දැනගත් පමණක්ම වන්නේය. “ඒවංහි තේ බාහිය සික්ඛිතබ්බං” බාහිය මෙන්න මේ විදියටයි හික්මෙන්න ඕනෙ. ඊළඟට දේශනා කරනවා,

“යතො ඛෝ තේ බාහිය, දිට්ඨෙ දිට්ඨොමත්තං භවිස්සති - සුතේ සුත මත්තං භවිස්සති, මුතේ මුතමත්තං භවිස්සති - විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති,
තතො ත්වං බාහිය න තෙන. යතො ත්වං බාහිය න තෙන,
තතො ත්වං බාහිය න තත්ථ, යතො ත්වං බාහිය න තත්ථ,
තතො ත්වං බාහිය නෙව ඉධ න හුරං න උභයමන්තරෙ,
එසෙවන්තො දුක්ඛස්ස”

දැන් එතකොට ඉස්සෙල්ල කිව්වේ මේ විදියට හික්මෙන්න කියල. බොහොම සරල විදියේ වැඩක් වගෙයි පෙනෙන්නේ. අර විදියට දුටුවෙහි දුටුමතින් දුටු පමණක්ම වන්නේය. ඇසුනෙහි ඇසුනු පමණක්ම වන්නේය. දැනුනෙහි දැනුනු පමණක්ම වන්නේය. දැනගත් යුතුයෙහි, එහෙම නැත්නම් විඤ්ඤාණයට දැනුනු දෙයෙහි දැනගත් පමණක්ම වන්නේය. අන්න ඒ විදියට හික්මුනාට පස්සේ යම් අවස්ථාවක බාහිය නුඹ ඇත්ත වශයෙන්ම දුටුවෙහි දුටු පමණක්ම වන්නේද, ඇසුනෙහි ඇසුනු පමණක්ම වන්නේද, දැනුනෙහි දැනුනු පමණක්ම වන්නේද, දැන ගත් යුතුයෙහි දැනගත් පමණක්ම වන්නේද, එවිට බාහිය, නුඹ ‘එයින්’ නොවන්නෙහිය. ඒක අපි පස්සෙ තේරුම් කරල දෙන්න බලනවා. ඒ දුටු දෙයින්වත්, ඇසුනු දෙයින්වත් ඔබ එය දෙයක් හැටියට අරගෙන ‘එයින්’ කියල ගන්නේ නෑ. යම් අවස්ථාවක ඔබ ඒ විදියට ‘එයින්’ කියල ගන්නේ නැත්නම් එතකොට ඔබ ‘එහි’ නොවන්නේය. ‘එහි’ නොවන්නේය කියල කියන්නේ ඒක ඇතුළට රිංගගන්නෙ නෑ. එතකොට ඒකට ඇතුල් නොවන්නෙහිය.

“යතො ත්වං බාහිය න තත්ථ, තතො ත්වං බාහිය නෙව ඉධ
න හුරං, න උභයමන්තරේ.”

යම් අවස්ථාවක ඔබ ‘එයින්’ නොවන්නේද, ඒ අවස්ථාවේ ඔබ ‘එහි’ නොවන්නේය. යම් අවස්ථාවක ඔබ ‘එහි’ නොවන්නේද, ඒ අවස්ථාවේ ඔබ ‘මෙහිත්’ නැත. ‘එහිත්’ නැත. ‘මේ දෙක අතරත් නැත’ එසෙවන්තො දුක්ඛස්ස. මෙයම දුකෙහි කෙළවරයි. බැලුවහම නිවන දකින්න බොහොම ලේසියි වගෙයි. මේ එක පාඨය නිවන දක්වාම, අර්හත්වය දක්වාම කර්මස්ථානයක්. මහා පුදුම දේශනාවක්. දැන් මේ කාලෙත් බොහෝ උගතුන් බුද්ධ දේශනාවේ සාරය කියලා දක්වන්න මේ සුත්‍ර දේශනාව බොහෝ විට එළියට ගන්නවා. කී දෙනෙකුට තේරෙනවද කියල අපි දන්නේ නෑ. කෙසේ වුනත් භාවනාමය මනසක් ඇති කෙනෙකුට, වැඩි දැනුමක් උගත්කමක් නැතුවත්, මේව තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍ය උගතුන්ට අමාරු වුනත්. එතකොට කොහොම හරි මේ දේශනාවෙන් එහෙම පිටින්ම නිවන දක්වාම, අර්හත් එලය දක්වාම, කමටහනයි මේ බුදු පියාණන් වහන්සේ බාහියට දුන්නේ. ඒක කොයිතරම් සාර්ථක වුනාද කියතොත්, මෙතන සුත්‍ර දේශනාවේ සඳහන් වෙනව, එකෙණෙහිම, මේ දේශනාව බුදුපියාණන් වහන්සේ දේශනාකරල ඉවර වෙනවත් එක්කම, අර වල්කළා ඇඳගෙන හිටපු බාහිය තාපසය එහෙමම රහත් වුනා කියලය. කොයි තරම් පුදුමයක්ද? එතකොට ඒ රහත් වුනා. රහත් වුනේ එතනින්ම දුක කෙළවර වුනා. ඒක අපි පස්සේ හෙමි හෙමිහිට තෝරන්න බලනවා. ඉතින් එතනින් කථාව ඉවර වෙන්නෙ නෑ. අපි කථාව ආශ්‍රයෙන් යම් යම් දේවල් තේරුම් කරනවා. ඒවත් උපකාර වන නිසා. හිතේ තබා ගන්නත් පහසු වන නිසා.

ඊළඟට කියවෙනවා මෙන්න මෙහෙම ඒ සිද්ධියේ. ඉතින් බුදුපියාණන් වහන්සේ අර විදියට මේ දේශනාව කරල පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතෙන් වළඳලා සංසයා වහන්සේලා එක්ක ආපසු ඒ නගරෙන් නික්මෙන අවස්ථාවේ දැක්කා - මොකක්ද දැක්කෙ - බාහිය රහත් වෙලා වැඩි ඈතට යන්න වුනේ නෑ. පැටියෙක් සහිත නපුරු එළදෙනක් ඇනලා මරණයට පත් කළා. එතකොට එතන වැටිල සිටිනව බාහිය තාපසයා - දැන් ඉතින් බාහිය රහතන් වහන්සේ. බුදු පියාණන් වහන්සේ විතරයි ඒ තත්වය දන්නේ. මේ රහතන් වහන්සේගේ ශරීරය වැටිල තියෙනව දැකලා බුදු පියාණන් වහන්සේ සංසයා වහන්සේලාට කියනවා, ‘පේනවද මහණෙනි මේ බාහියගේ ශරීරය. මේක ඇඳක් උඩ තියල ගෙනිහිල්ලා ආදාහනය කරලා මේ ධාතුවලින් ස්තූපයක් කරන්න’ කියලා. එතකොට සංසයා වහන්සේලාත් ඒ වැඩය සඳහා ගියා. ගිහිල්ල අර විදියටම ශරීරය අරගෙන ගිහිල්ල දවලා ස්තූපයක් හදලා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තමත් කළ දේ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ හැටියට මෙන්න මෙහෙම තාපසයාගේ, එහෙම නැත්නම් ඒ තැනැත්තාගේ ශරීරය අපි දවලා ආවා. කොහේද ඒ තැනැත්තා උපන්නෙ කියලා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “මහණෙනි, බාහිය බොහොම පණ්ඩිතයි. බොහොම ඥානවන්තයි. බොහොම ප්‍රඥාවන්තයි. මට වැඩිය කරදර කළේ නෑ. මේක තෝරල දෙන්න කියලවත් වැඩිය කරදර කළේ නෑ. බාහිය රහත් වෙලා පිරිනිවන් පෑව” කියල. එතකොට ඒක මහ ආශ්චර්යවත් සිද්ධියක්. ඊළඟට සංසයා වහන්සේලා ඇහුවා භාග්‍යවතුන් වහන්ස එහෙම නම් කොයි වෙලාවෙද, මොන බණක් අහලද, මේ තරම් ඉක්මනට රහත් උනේ කියලා. ඒ ධර්මයේ දැක්වෙන හැටියට එතකොටයි මෙන්න මේ ගාථාව විශේෂයෙන් දේශනා කොට වදාළේ. තවත් ඒකට අදාළ ගාථා තිබුණත් සරල වශයෙන් මේක ගන්න පුළුවන්.

සහස්සම්පි වේ ගාථා - අනත්ථපදසංහිතා
ඒකං ගාථා පදං සෙය්‍යො - යං සුත්වා උපසම්මති

අර්ථයක් නැතිව බැඳුනු දහසක් ගාථාවලට වඩා, යම් ගාථා පදයක් අහලා සන්සිඳීමට පත්වේද, උපශාන්ත බවට පත්වේද, අන්න ඒ ගාථා පදයම වඩා උතුම් කියන එකයි ඔය ගාථාවේ අදහස. එතකොට දැන් මෙතන තියෙන කථාන්තරය ගැනත් අපි තව ටිකක් හිතල බලමු. ඊළඟට එපමණක් නොවෙයි. මේ ධර්මයේ සඳහන් වෙනවා බුදුපියාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල ඒ ඒ සංසයා වහන්සේලා ඒ ඒ අංශයෙන් අග්‍රස්ථානයේ තැබුවා. ඒක මේ පින්වතුන් හුඟ දෙනෙක් අහල ඇති. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා ප්‍රාඥයි. මුගලන් මහ රහතන් වහන්සේ සාද්ධිමතුන් අතරින් අග්‍රයි කියලා. ඒ විදියට බුදු පියාණන් වහන්සේ අග්‍රස්ථානය දුන්නා. ඒ වගේම මේ බාහිය තාපසතුමා සුඑ වේලාවකින් පිරිනිවන් පෑවට මොකද බුදු පියාණන් වහන්සේ උන් වහන්සේ පිළිබදව - අර සංසයා වහන්සේලාට - වෙන එකක් තබා ප්‍රකාශ කළා මේ නුඹලාගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක් කියල. සබ්‍රහ්මචාරී කියන පදය යොදන්නේ සංසයා වහන්සේ කෙනෙකුටයි. නමුත් අර විදියේ ඇඳුම් ඇදගෙන, වෙන ඇඳුමකින් රහත් වුනාට මොකද බුදු පියාණන් වහන්සේ එතනදි සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක් කියලා හැඳින්වුවා. ඒ වගේ මෙතැනදී ප්‍රකාශ කරනවා බුදු පියාණන් වහන්සේ මේ මගේ ශාසනයේ ඛිප්පාභිඤ්ඤා කියල කියන ඉතාම ශීග්‍රයෙන්, ඉතාම ඉක්මණින්, ධර්මය වටහා ගන්න පුළුවන් අය අතරින් බාහිය දාරුචීරිය තමයි අග්‍ර කියල.

අන්න ඒ වගේ මහා පුණ්‍ය ශක්තියක් ඇති කෙනෙක් අර විදියට මොන කර්ම වේගයකින් හරි - එකක් අර නැව ගිලුනට පස්සේ බොහොම දුක් විඳගෙන අර විදියට පීනලා ගියා. ඊළඟට රහත් වුනාට පස්සේ, රහත්වෙලා සුළු වේලාවකින්, කාලක්‍රියා කරන්න සිද්ධවුනා. නමුත් මේ තරම් ඉක්මණින්ම ධර්මය තේරුම් ගන්න හේතුවුනු අතීත කථාන්තරයකුත් සඳහන් වෙනවා. ඒක මේ කාලයේ විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකක්ද? මේ බාහිය දාරුචීරිය කාශ්‍යප සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේගේ ශාසනය තිබුනු කාලෙ හිටිය සංසයා වහන්සේලා හත්දෙනෙකුගේ පිරිසෙන් කෙනෙක්. හත් නමක් එකතුවෙලා ඔවුනොවුන් කතිකා කර ගත්තා මේ කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ශාසනය පරිහානියට පත්වෙන කාලේ - දැන් ඔන්න මේ කාලේ ගැනත් ටිකක් හිතන්න පුළුවන්. මේ විදියේ යුගයක් වෙන්න ඇති. මේක අර ‘දහයට බහින කාලේ’ කියල කියන්නේ. අන්න ඒ වගේ බැහැගෙන බැහැගෙන යන කාලේ මේ හත්නම බොහොම සංවේගවත් වෙලා මේ ශාසනය විනාශවෙන්න කලින් අපි නිවන් ප්‍රත්‍යක්ෂ කර ගන්න ජීවිත පරිත්‍යාගයෙන් උත්සාහ කරමු කියල කතිකා කරගෙන කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ස්වර්ණ චෛත්‍යයට වන්දනා කරලා අවසාන වශයෙන්, වනයට ඇතුල් වුනාම දැක්කා විශාල පර්වතයක්. ඊළඟට මේ පර්වතයට නගින්න කලින් මේ හත් දෙනාම කියා ගත්තා දැන් ඉතින් ජීවිතයට ආශාව ඇති අය ඉන්නවා නම් නවතින්න. ජීවිත ආශාව අතහැරලා නිවන සඳහා උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් එකතු වෙන්න කියලා. ඔන්න ඉණීමඟක් බැඳලා අර මහා පර්වතයට නැග්ගා. නැගලා ඉණිමඟ පෙරළලා දැම්මා.

දැන් කොහොමද තත්ත්වේ? දැන් ඉතින් ගල උඩ මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් මොකද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ එකම වැඩයි. සංසාරෙන් මිදීම සඳහා භාවනා කිරීම පමණයි. ඉතින් මුළු කාලයම - වෙන එහෙකට යන්න ක්‍රමයක් නෑ නේ. ඉණීමඟත් නෑ නෙ ඉතින් බහින්නවත් - දැඩි සේ භාවනාව පටන් ගත්තා. පස්සෙන්දා එළිවෙනකොට අර සංඝස්ථවිරයන් වහන්සේ, ප්‍රධාන ස්ථවිරයන් වහන්සේ, රහත් වුනා. අභිඥා සහිතව රහත් වුනා. රහත් වෙලා එතන සඳහන් වෙනවා, අභිඥාවෙන්ම පිණ්ඩපාතේ වැඩම කරල උතුරුකුරු දිවයිනේ යම් කිසි දානය ලබාගන්න පුළුවන් ස්ථානයකට වැඩම කරල පිණ්ඩපාතේ අරගෙන ඇවිල්ලා සමහරවිට වාරිත්‍රයක් වශයෙන් අනිත් උන්නාන්සේලාට ආරාධනා කළා මේ පිණ්ඩපාතෙන් අනුභව කරන්න කියලා. අතිත් සංඝයා වහන්සේලා කියනවා “ස්වාමීනී අපි මෙන්න මේ විදියේ කතිකාවක් කරගත්තද? යම් කිසි කෙනෙක් මෙයින් රහත් වුනාට පස්සේ ඒ ගෙන පිණ්ඩපාතේ අපි වළඳනවද කියලා”? “නැත ඇවැත්නි”. “එහෙම නම් ඉතින් ඔබ වහන්සේ ඒක වලඳන්න . අපි අපේ ශක්තියෙන් කර ගන්න පුළුවන් එකක් කර ගන්නවා” කියලා දැඩි සේ ආයෙත් භාවනාව පටන් ගත්තා. දෙවෙනි දවසේ අර දෙවැනි ස්වාමීන් වහන්සේ අනාගාමී තත්ත්වයට පත්වුනා. ඒ ස්වාමීන් වහන්සේත් අර විදියටම අහසින් ගිහිල්ල පිණ්ඩපාතේ අරගෙන ඇවිල්ලා අර වගේ ආරාධනාවක් කළා, අනෙක් අයට ඒකෙන් අනුභව කරන්න කියලා. ඒ අවස්ථාවේත් ප්‍රකාශ කළා, “ස්වාමීනී අපි මෙන්න මේ විදියේ කතිකාවක් කළාද? ප්‍රධාන සංඝ ස්ථවිරයන්ගේන පිණ්ඩපාතේ ප්‍රතික්ෂේප කරල දෙවෙනි ස්වාමීන් වහන්සේගේන පිණ්ඩපාතේ වළඳනවා. වලඳල භාවනාව කරනවා කියලා”, “එහෙම කතිකාවක් කර ගත්තද?” “නැත ඇවැත්නි” “ආ එහෙනම් ඒකත් අපට ඕනෙ නෑ. කොහොම හරි අපි අපිම අපේ ශක්තියෙන් යම් කිසි පුළුවන් අවස්ථාවක් වුනොත් ඒ විදියට ගිහිල්ල පිණ්ඩපාතේ ලබා ගන්නවා” කියලා අර පස්නම දැඩිසේ භාවනාව පටන් ගත්තා. ඉතින් හත් දවසකට පස්සේ ඒ පස් නමම ශරීර වියලිලා ගිහිල්ලා ක්ලාන්තය පමණක් නෙවෙයි, අන්තිමට මරණාන්තය දක්වාම දැඩිසේ භාවනා කරලා ඒ ගල උඩම කාලක්‍රියා කළා, පෘථග්ජනයින් හැටියටම.

එතකොට ඒ රහතන් වහන්සේ පිරිනිවන් පෑව. දෙවෙනි ස්වාමීන් වහන්සේ අනාගාමී තත්ත්වයෙන් බ්‍රහ්ම ලෝකේ උපන්නා කියල සඳහන් වෙනවා. එතකොට මේ පස්නමගෙන් කෙනෙක් තමයි මේ බාහිය දාරුචීරිය කියන තාපසතුමා. ඊළඟට අනිත් අය ගැනත් ධර්මයේ සඳහන් වෙනවා. ඒ පස් නම ම අන්තිමට අර විදියට ශරීරය වියලී යන තෙක්ම දැඩි සේ භාවනා කරල ගත්තු උත්සාහයේ, ඒ වගේම රැක්ක සීලයේ බලයෙන්, භාවනාවේ බලයෙන්, දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබලා මේ බුද්ධෝත්පාද කාලයේ ඒ ඒ තැන්වල උත්පත්තිය ලැබුවා කියලා කියනවා. පුක්කුසාති රජ හැටියට එක්කෙනෙක්. අනික් එක්කෙනා කුමාර කාශ්‍යප - පස්සේ මහ රහතන් වහන්සේ හැටියට, සභිය කියන පරිබ්‍රාජකයා, දබ්බමල්ල පුත්ත කියන ඒ ස්වාමීන් වහන්සේ - ඒත් හත් අවුරුද්දේදී රහත් වුනු, - අන්න ඒවගේ විශේෂ පුද්ගලයන් හැටියටයි මේ බුද්ධ ශාසනයේ ඉපදුනේ. මේ පස්වැන්නා තමයි බාහිය දාරුචීරිය. එතකොට අර පස් නම ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ අවසාන කාලයේ ජීවිත පරිත්‍යාගයෙන් කළ ඒ උත්සාහයේ ප්‍රතිඵලය තමයි ’ඛිප්පාභිඤ්ඤා ‘ - ඉතාම ශීඝ්‍ර ධර්මාවබෝධය කරගන්න පුළුවන්වුනා මේ බුද්ධ ශාසනයේ.

අන්න ඒ විදියට අතීත ප්‍රවෘත්තිය තුළිනුත්, අපට මේ කාලයේ පවා, මේ බුද්ධ ශාසනයේ පරිහානි කාලේ පවා, උත්සාහය අත්නොහැර භාවනා කරන්න හොද ධෛර්යයක් මේ ස්වාමීන් වහන්සේලාගේ ආදර්ශයෙන් අපට ලැබෙනවා. අපි ඒක ගැනත් කල්පනා කරන්ට ඕන. ඊළඟට ඒ වගේම තමයි දැන් මේ ගාථාව ආශ්‍රයෙන් අපි බලමු, බුදුපියාණන් වහන්සේ ඒ දේශනා කළ නිර්වාණ මාර්ගය ගැන අර අපි ආරම්භයේම කිව්වේ මේක හිත හා සම්බන්ධ දෙයක්. සංසාරයෙන් මිදෙනවා කියන එක මහා පුදුම තත්ත්වයක් මේක. අවසාන වශයෙන් මිදෙන්නේ ප්‍රඥාව පිහිට කරගෙනයි. සීල, සමාධි, ප්‍රඥා වැඩීමයි බුද්ධ ශාසනය කියල කියන්නේ. අපි කොතෙකුත් අවස්ථාවල ප්‍රකාශ කරලා තිබෙනවා. සීලය සමාදන් වෙන්නේ කය, වචනය හික්මවා ගන්න. කය වචනය හික්මවා ගෙන ඊළඟට හිත තැන්පත් කරගන්නවා සමාධියෙන්. තැන්පත් කරගත්තු හිතට ඊළඟට ලෝකයේ යථා ස්වභාවය වැටහෙනවා. ලෝකයේ යථා ස්වභාවය කියලා කියන්නේ ඔය ඇහැට, කනට, පෙනෙන, ඇහෙන දේවල් පිළිබදව, මිරිඟුවක් ඔස්සේ දුවනවා වගේ ගිහිල්ලා, හැම එකක්ම පරීක්ෂා කරල විද්‍යාවෙන් කරන්නා වගේ එහෙම පරීක්ෂණයක් නෙවෙයි. අවසාන වශයෙන් මේ හැම එකකටම මුල හැටියට තිබෙන්නේ මෙන්න මේ හිත. හිතිවිල්ල. හිතිවිල්ල තේරුම් ගැනීමයි. හිතිවිල්ල තේරුම් ගත්තු දවසට මාර බන්ධනය කැඩෙනවා. මොකද, මාර බන්ධනයම තමයි හිතිවිල්ල කියලා කියන්නේ, හොඳට හෝ නරකට හෝ අපිට ඒක නොකර බැරි වුනත්. හිතන්ට සිද්ධවෙනවා. සිතිවිලි තිබෙනවා. අපි ඒකයි අර මූලීම සඳහන් කළේ. සිතිවිල්ල කියලා කියන එක - අපි හැම දෙයක්ම තේරුම් ගන්න උපකාර කර ගන්නේ හිතිවිල්ලයි. නමුත් හිතිවිල්ල තේරුම් ගන්නේ කොහොමද? කියන එකයි ප්‍රශ්නය. ඒකටයි බුදු පියාණන් වහන්සේලා පිළිතුර ලබා දෙන්නේ, මේ ධර්මය තුළින්.

දැන් මෙතන අපි මේ දේශනාව - මේ කෙටි දේශනාව - ටිකෙන් ටික ලිහලා බලලා, විග්‍රහ කරලා, අවස්ථා වශයෙන් දක්වලා, තම තමන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමකට ගන්න උත්සාහ කරමු. දැන් මෙතන කිව්වේ දුටුවෙහි දුටුමතින්. මෙතන හිතාගන්න පුළුවන් තවත් කාරණයක්. කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ, මෙතරම් මහා කාරුණික බුදුපියාණන් වහන්සේ අර තරම් දුර ඉඳලා ආපු තාපසයෙක් - යොදුන් ගණන් ඈත ඉඳලා ආපු තාපසයෙක් මෙහෙම ඇවිල්ල ඇවිටිලි කරහම ඇයි ප්‍රතික්ෂේප කළේ, පළමුවෙනි වරටත්, දෙවෙනි වරටත්. බණ දෙසන්න මේ වෙලාව නොවෙයි, පිණ්ඩපාතයේ යන වේලාව කියලා. ඒතනත් අපි හිතාගන්න ඕන මහා ගැඹුරු අදහසකින් ඒක කරලා තියෙන්නේ. හේතු ගණනාවක් අපිට හිතාගන්න පුළුවන්. එකක්, අර වෙහෙස මහන්සිවෙලා ආපු ගමනේ - දැන් හති දාගෙන කෙනෙක් ආපුවහම බණ අහන්න ලෑස්තිම නෑ නේ. ඒක ටිකක් හතිය නිවෙන්න ඇරලා තමයි ඔන්න ටිකක් සන්සුන් උනහමයි යමකට හිත යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තවත් කාරණයක් අපිට හිතාගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ බොහෝවිට උපාය මාර්ගයන් යොදනවා. දැන් බුදු පියාණන් වහන්සේ, වැඩ හිටියානම් එහෙම, “හා හොඳයි පිණ්ඩපාතේ ගමන පස්සේ යන්නම්. දැන් හොදට ඉඳගන්න. පන්සිල් සමාදන් වෙන්න.” එහෙම කියලා ඔය විදියට පටන් ගත්තානම් අර තැනැත්තාගේ අර ධර්මයට ඇති - ධර්මය ලබාගන්නට ඇති - ඕනෑකම අඩුවෙනවා. ඒ තිබුන දැඩි උත්සාහය වෙනුවට ඊළඟට හිතා ගන්නවා දැන් ඉතින් මේක හෙමිහිට යන ගමනක් කියලා. මේ දෙකම වැලැක්වීමටයි බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේත් බොහොම ඉක්මන් ගමනක් යන්න වගේ ඇඟේව්වේ. එතකොට, එහෙම යන කෙනෙකුගෙන් “අනේ මට ඩිංගක් කියලා යන්න” යන අදහසයි ඊළඟට දෙන්නේ. “මට ටිකක් කිව්වත් ඇති, ඔබ වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා නම් මට දිග දේශනාවක් අවශ්‍ය නෑ. මට පොඩ්ඩක් කියන්න. මං ඒක තේරුම් ගන්නම්.” අන්න ඒ ආකල්පය ඇතුවයි කෙනෙක් අහන්නේ. දැන් මේකෙ එතකොට අපිට දෙපැත්තක් හිතාගන්න පුළුවන්. එක පැත්තකින් අර පුද්ගලයාගේ අර වැඩි උනන්දුව, නැත්නම් අර වෙහෙස ආදිය සමනය වෙන්න හේතුවක් වුනා. අනිත් පැත්තෙන් බුදු පියාණන් වහන්සේ ඒ දැක්වූ උපාය මාර්ගය නිසා මේ තැනැත්තා සැහීමකට පත්වෙන අවස්ථාවකට පත්වුනා කෙටි දේශනාවකින් පවා. ඒකෙනුත් ගතයුතු උපරීම ප්‍රයෝජනය ගන්න ලෑස්ති වෙලා, මුලු අවධානයම ඒකට යොමු කරලා කන් දුන්නා. ඒකෙන් වෙන්න ඕන අර තරම් කෙටි දේශනාවක් තුළින් අපි අර මුලින් කිව්වා වගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන ඉඟිය තේරුම් ගත්තේ.

මේ ධර්මය කියලා කියන්නේ යම් කිසි ඉඟියක් දෙනවා කෙනෙකුට. මොකද, තමන්ටම කරගන්න තියෙන දෙයක් මේ හිතිවිල්ල පිළිබද තත්වය තේරුම් ගැනීම කියන එක. වෙන කෙනෙකුට කරන්න බෑ. බුදු පියාණන් වහන්සේටවත් කරන්න බෑ. ඒකට මාර්ගය දක්වනවා. උපාය ආදි දීලා ඒකට යොමු කරනවා. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මේ පින්වතුන්ටත් තම තමන්ට අයිති දෙයක් මේක. එතකොට ඒ විදියෙ පසුබිමක් ඇතුව අපි මේක හිතලා බලමු. දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති - අපි මේ පාළි වචනෙන් කිව්වට ඒකට වැඩිය කලබල වෙන්න දෙයක් නෑ. අපි සිංහල කරල ගත්තොත් දිට්ඨ කියන්නේ “දුටුව”. අපි මේකට “දුටුව” කියලා කියන්නේ මොකද? සාමාන්‍යයෙන් අපි දුටුදේ කියලයි පාවිච්චි කරන්නේ. දුටුදේ කියන කොට අපි ඒකට අහුවෙලා ඉවරයි. අපිට දැන් දුටු දේ කියල හිතනව නම් දැන් දේදුන්න - දැන් වැහැගෙන එන වේලාවෙ - දැන් දේදුන්න කියන එකක් තියෙනවා. කවුරුත් කැමතියි ඒකට. මේ දේදුන්න කියන එක දෙයක්ද? හිතල බලන්න. දේදුන්න කියන එක දෙයක්ද? කුඩා දරුවෙක් නම් ඒක ලස්සනට තියෙන කොට, වර්ණ තියෙන කොට, හිතාවි අන්න දේදුන්නක් තියෙනවා. අනේ අම්මේ තාත්තේ ඒක මට ලබලා දෙන්න පුලුවන්ද?” කියල. එහෙම හිතන්න පුළුවන් කෙනෙක්. මේක ලබාගන්න පුලුවන් දෙයක්ද? කොහොමද මේ දේදුන්න ඇති වෙන්නේ? මේ වගේ වහින්න එන වෙලාවක ඉතින් අහසේ අර එක තැනක වාෂ්ප ආශ්‍රයෙන් අහසේ බැඳගෙන යන ඉරෙන් ආලෝකයක් පතිත වෙලා. ඉර පැත්තක තියෙන්නේ. ඉරේ වර්ණ සංකලනයයි දේදුන්න කියල කියන්නේ. මේක ඉතින් කීයක් එකතු වෙලාද හැදිලා තියෙන්නේ? දේදුන්න පෑව්වා වගේම ඒක නැතිවෙලා යනවා. ඔන්න ඔය දේදුන්න වගේ තමයි මුළු මහත් ලෝකයම. නමුත් අපි මේවා තුළින් දේවල් හදා ගන්නවා. දේදුන්න ‘දෙයක්’ වගේම අතීත ඒවත් අපි ‘දෙයක්’ කර ගන්නවා. ඒකයි අපි දුටුව කියලා කියන්නේ. තවත් විදියකින් අපි හිතලා බලමු. දැන් මෙතන ඉඳලා බලනකොට සමහර විට - එහෙම නැත්නම් එක කන්දක් උඩ ඉඳන් අනිත් කන්ද දිහා බලන කොට - හරිම ලස්සන දර්ශනයක්. කැමරා ගත කරන්න නම් හොද දර්ශණයක්. නමුත් යම් කිසි කෙනෙක් හිතුවොත් මේ දර්ශණයම හොද හැටි දකින්න කියලා ඒ කන්දට ගියොත් එහෙම මොකද්ද පේන්නේ. අර තිබුණු දර්ශනය නෑ. ඊළඟට මේ පැත්තයි හොඳට පේන්නේ. මිරිඟුවක්. ඕක තමයි මිරිඟුව කියලා කියන්නේ. ඉතින් අන්න ඔය වගේ දෙයක්. මිරිඟුව පිළිබඳවත් ඔය වගේ තමයි.

එතකොට දුටුවෙහි දුටුමතින් නතරවෙන්න කියලයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. අර දේදුන්න හොයාගෙන අහස් යානයකින් යන එකවත්, වෙන විදියකින් ඒක අල්ලන්න හදන එකවත් නොවෙයි. ඒක එතනම තියලා දැකිය යුතු එක්තරා මිරිඟුවක් වගේ දෙයක්. මිරිඟුව පිළිබදවත් එහෙමයි. ඒකයි මේ කියන්නේ ‘දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති’ දුටුවෙහි දුටු බව පමණක්ම වන්නේය. ඊට එහා යන්න එපා. ඒ ගැන හිතන්න යන්න එපාය කියන එකයි දැන් මෙතන අදහස. දැන් ඒක අපි අර මිරිඟුවේ උපමාව තව ටිකක් ගැඹුරින් කල්පනා කළොත්, අපි සාමාන්‍යයෙන් මිරිඟුව කියලා කියන්නේ, පින්වතුන් අහල තිබෙනවා නියං කාලයේ මුවන් පොළොවෙන් ඉහළට නගින ඒ පොපියන ස්වභාවය දැකලා දුවනවා කියලා. දැන් අපි හිතමු ටිකකට. සාමාන්‍යයෙන් මුවා දුවන්න දුවන්න මිරිඟුව ඇත් වෙනවා - අපි හිතමු මුවා ටික දුරක් දුවලා ඉවර වෙලා ආපහු හැරිලා බැලුවයි කියලා. එතකොට කොහොමද? එතකොට අන්න ඒ මිරිඟුව ආපු තැනමයි තියෙන්නේ. ඒක නිසා මුවාට ආපහු දුවන්න සිද්ද වෙනවා - ආපහු හැරිලා බැලුවොත් - අර ආපු තැනටම. එතෙන්ටත් දුවලා ඉවර වෙලා ආයෙත් හැරිලා බලන කොට අන්න ආයෙත් යන්න වෙනවා. ඕක ගැන ටිකක් මේ පින්වතුන්ට හිතලා බලනකොට සමහරවිට හාස්‍යජනක දෙයක් කියලා හිතන්න පුළුවන්. නමුත් ඔහොම දේවල් තමයි අපි හැමෝම කරන්නේ. මොකද මුවාට සත්‍යය මුවාවෙලා. මිරිඟුව ඔස්සේ දිව්වා. දුවලා යම් අවස්ථාවක ආපසු හැරිලා බැලුවොත් මෙන්න මිරිඟුව මේ පැත්තේ. එතකොට මේ ආපු දුරම ආපසු එනවා. ආයිත් යනවා. එතෙන්ට. ඔය කියපු උපමාව අපට උපකාරී වේවි මේ දේශනාවේ එක්තරා තැනකට එතකොට.

හොදයි ඕක මතක තියාගෙන ඊළඟට අපි බලමු. දුටුවෙහි දුටුබව පමණක්ම වන්නේය. ඒ වගේම සුතේ සුතමත්තං භවිස්සති කියලා කියන්නේ - මේ බාහිය දාරුචීරියට බුදු පියාණන් වහන්සේ දෙන ශික්ෂා මාර්ගයයි. මෙසේ හික්මිය යුතුයි කියලයි මේ ටික කියන්නේ. ගැඹුරු ශික්ෂණයක් මෙතන තියෙන්නේ. - ඇසුනෙහි ඇසුන මාත්‍රයම වන්නේය. ඇසුනු බව පමණක්ම - බාහිය නුඹට ඇසුන දෙය පිළිබඳව ඇසුනු බව පමණක්ම වන්නේය. එකත් අර වගේම තමයි - ඇසුනු දෙයත්. දැන් ඇසීම කියන එකත්, අපි හිතලා බැලුවොත්, දැන් මේ කථා කරන දේත් ඇහෙනවා තමයි. එපමණක් නෙවෙයි. ඔය සිංදු ආදිය, ගීතිකා හැම එකක්ම මේ පින්වතුන්ට ඇහෙනවා. ඒ හැම එකක්ම ඇහෙන්නෙ තාල රාශියක් එකතුකරලා සංගීතයක් හදා ගන්නවා. සංගීතඥයා නෙවෙයි සංගීතය හැදුවේ. තම තමන්. තම තමන්ම ගොතා ගන්නේ. එච්චර ඕනෙ නෑ. වතුර බිංදු වැක්කෙරෙන කොට ඔය ශබ්ද නැගෙන භාජනයක් තියන්න බලන්න. එතකොට මොකක්ද? ‘ටක්-ටක්-ටක්’ ගාලා ඒක තුළිනුත් තමන්ට සිංදුවක් ඇහේවි. හිත යනවා නම් සිංදුවට, ගීතයට නම් කැමැත්ත, ඒ අවස්ථාවේ ගීතයක් ඇහේවි. රැයක නම් සමහරවිට බයක් ඇතිවේවි. ඔය තුළින් එතකොට සිංදු ගොතාගන්නේ කවුද? අපි කවුරුත් සංගීතඥයෝ. අපි ගොතාගන්නවා සිංදු. සිංදු ගොතාගන්නවා. තාල ගොතාගන්නවා. මේවා සිද්ධ වෙන්නේ කොතනද? මේ කන්බෙරයේ. කන්බෙරයට වදින ශබ්දවලින් අපි සමහරවිට සතුටට පත් වෙනවා - අපේ ප්‍රශංසාව එහෙම, ගුණ එහෙම, කියනවා නම්. අපිට බනිනවයි කියලා හිතාගත්තු දෙයක් ආවා නම් අපි කැලඹෙනවා. ඔන්න ඔය විදියට මේ ඔක්කොම බෙරේට ගහන ශබ්ද. ඔන්න එතකොට ඒ ආශ්‍රයෙන් හිතාගන්න පුළුවන් මේ බාහිය දාරුචීරියට බුදු පියාණන් වහන්සේ දෙන අදහසේ ගැඹුරු විදර්ශනාමය අර්ථය. ඇසුනෙහි ඇසුනු බව පමණක්ම වන්නේය.

ඊළඟට ඒ වගේම තමයි දැනුනෙහි දැනුනු බව පමණක්ම වන්නේය. දැනුනා කියලා කිව්වේ, අපි කිව්වා අර දිවට දැනෙන දෙය, නැහැයට, කයට දැනෙන දෙය මේවා ඉතාම සියුම් දැනීම. මේ පින්වතුන් දන්නවා දිව කියන එක කොයි තරම් භයානක දෙයක්ද, යන්තම් දිවට දැනෙන කොට අපට ඒක තුළින් එහෙම පිටින්ම එක්කෝ මුලු සිරුරම පිනා යනවා එහෙම නැත්නම් මුහුණ ඇඹුල් වෙනවා, තිත්ත වෙනවා. ඒ විදියෙ දෙයක් වෙනවා මේ දිව තුළ, දිවේ තිබෙන ඒ සංවේදීය ශක්තිය නිසා. නමුත් මෙතනත් කෙරෙන්නේ අපේ හිතෙන් ඉතාමත් සියුම් අන්දමින් ඒවා එකතු කර ගන්නවා. දැන් ටිකක් කල්පනා කරලා බලන්න. සීනි පැණි රහයි කියනවා. පැණි මොන රසද? සීනි රසයි. ඒකත් අර කියාපු මිරිඟුව ඔස්සේ මුවාගේ දිවිල්ල වගේ තමයි. සීනි පැණි රසයි කියනවා පැණි එක්ක සන්සන්දනය කරලා. පැණි අනුභව කරලා තියෙන නිසා පැණි රසයි කියනවා. ඊළඟට පැණිගත්තාම සීනි රසයි කියන්න වෙනවා. ඔන්න ඔය වගේ දෙයක් මේ දිවෙන් කෙරෙන හරඹයත්. ඉතින් ඒ වගේම තමයි අනිත් ඒවත්. ස්පර්ශය ගැන ටිකක් හිතලා බලමු. අපේ කයේ යමක් ස්පර්ශ වෙනවා. දැන් රැයක බොහොම මුදු මොළොක් දෙයක් ඉදගෙන ඉන්න වෙලාවට අපේ ශරීරයේ තැවරෙනවා. අපි ඉතින් මේක බොහෝම මෘදු මොළොක් දෙයක් කියලා අල්ලනවා. ඇල්ලුව හැටියේ නයා. නයා ගැහුවා. අන්න අර ස්පර්ශය. එතකොට ඒ විදියට අපිට ඒක තුළින් ඉස්සෙල්ලා ආව හැඟීම. සංවේදනය නොවෙයි ඊළඟට එන්නේ, ඒක දැක්ක හැටියේ, මේ භයානක දෙයක් කියලා දැක්කහම. ඔය විදියට අපේ මේ ඉන්ද්‍රියයන් තුළින් වෙන පුදුම විදියේ රැවටිල්ලයි බුදු පියාණන් වහන්සේ මේක තුළින් ඉදිරිපත් කරන්නේ. ඒක නිසා ප්‍රඥාව ඕන නම්, සංසාරෙන් මිදෙන්න ඕන නම්, සිතිවිලි බන්ධනය කැඩෙන්න ඕන නම්, මිරිඟුවෙන් මිදෙන්න ඕන නම්, මේ ටික කරන්න. ලෝකේ ජීවත් වෙන්න ඕන නම්, සංසාරේ වඩන්න ඕන නම්, සංසාරේ තව දුරටත් යන්න ඕන නම්, මේ මොකවත් ඕනෙ නෑ. වෙනද වගේම අර සිතිවිල්ලටම යටවෙලා ඉන්න. ඔව්වරයි තියෙන්නේ, ධර්මය කියන එකේ.

එතකොට මෙතන අර දැනුනෙහි කියන එකත් ඒ විදියට හිතා ගන්න පුළුවන්. විඤ්ඤාත කියලා කියන්නේ දැනගත් දෙයෙහි. සාමාන්‍යයෙන් අපි ලෝකේ මේ දැනුම් සම්භාරය ගැන ටිකක් හිතලා බලමු. ඔය පුස්තකාලවල තියෙන පොත්. ලෝකයේ දැන් යන මහ පුදුම විද්‍යාවය කියලා කියන ඒ බලවේග. ඒ හැම එකක්ම තුළින් අපි යම්කිසි මාන්නයකුත් ඇතිව යම් යම් දේවල් ගැන ‘මම දන්නවා’ කියලා හිතා ගන්නවා. දැනුම හැටියට. දැන ගැනීම. එකක් තව එකකින් වෙන්කරලා අඳුනගන්න එක තමයි විඤ්ඤාණයේ මූලික කෘත්‍යය. දැන් වෙන එකක් තබා තිත්ත රසයයි පැණි රසයයි කියන දෙක වෙන් කරලා දැන ගන්න එකටත් විඤ්ඤාණය කියලා කියනවා. සැප දුක් මධ්‍යස්ථ කියන වේදනා වෙන් කරලා දැනගැනීමත් විඤ්ඤාණය කියලා කියනවා. විඤ්ඤාණය කියන එකෙන් අපි වෙන් කරලා දැනගන්නවා. එකක් තව එකකින් වෙන් කරනවා. මේක තිත්තද පැණි රසද කියලා ටිකක් තලුමරලා බලලා අන්න වෙන් කර ගන්නවා. ආ මේක තිත්ත දෙයක්, මේක පැණි රස දෙයක්. ඒ වගේම තමයි මේක සැපද දුකද කියන එක. සැප හැටියට දැනෙන එක ටික වෙලාවක් ඉන්න කොට දුක හැටියට තේරෙනවා. ඒ දෙකම නැති අවස්ථාව මධ්‍යස්ථ්‍ය කියලා බෙදාගන්නවා. ඔය විදියට මේ අපේ විඤ්ඤාණයේ තියෙනවා මහ සියුම් බෙදන ගතියක්. බෙදලා දක්වලා තමයි අපි තේරුම් ගන්නේ. මේක මෙහෙමයි. මේක එකක් - අනිත් එක - ඊට එහා තියෙන එක - වෙන එකක්, කියලා ඔය දෙකම වෙන් කරලා ගන්න ස්වභාවයක් විඤ්ඤාණයේ තියෙනවා. ඉතින් කොයි එක හෝ වේවා, මෙතන බුදු පියාණන් වහන්සේ කියන්නේ යම් කිසි ඒ විදියට දැනගත් දෙයක් තියෙනවා නම් ඒක දැනගත්තු බවක්ම පමණක් සළකනවා. ඊට එහාට යන්න එපා. ඒක උඩ තව ගොඩ නගන්න එපා කියන එකයි, බුදු පියාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ විදියට ‘විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති’. ඔන්න ඊළඟට අපි එමු, ඊළඟට තියෙන ගැඹුරු හරියට.

එතකොට බාහියට පළමුවෙන්ම ශික්ෂා මාර්ගය දුන්නා. මේ විදියට හික්මෙන්න. දැන් මේ පින්වතුන්ට නම් අපි කිව්වේ ඔයිට වඩා සරල දෙයක්. කය වචනය හික්මවා ගැනීම පිළිබදව ආජීව අෂ්ටමක ශීලය විතරක් දීලයි පටන් ගත්තේ. මෙන්න බාහිය දාරුචීරියට බුදු පියාණන් වහන්සේ ඉස්සෙල්ලාම දෙන්නේ ඔන්න ඔය ගැඹුරු ඉන්ද්‍රිය සංවර ශීලයයි. ඔතන තියෙන්නේ ඉන්ද්‍රිය සංවර ශීලය. සාමාන්‍ය ශීලය නොවෙයි. ඔතන ගැඹුරුම - රහත් වීමට ඕනෑම කෙනෙකුට උපකාරීවන, ඉන්ද්‍රියයන් හසුරුවා ගැනීම පිළිබද ගැඹුරු ශීලයක් ඔතන තියෙන්නේ. ඉතින් මේ විදියට දුටු, ඇසු, දැනුනු, සිතුනු හැම දෙයක් පිළිබදවම ඒ මාත්‍රයේ පමණක් නැවතිලා රීට එහාට නොයන විදියට සංයමයක්, සංවරයක්, ශික්ෂණයක් ඇතිකර ගත්තා නම් බාහිය - ඒ විදියටයි ඊළඟට කියන්නේ- එතකොට, ඔන්න ඊළඟට මොකක්ද වෙන්නේ කියන එක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එවිට බාහිය නුඹ ‘එයින්’ නොවන්නේය. ඒක ගැඹුරු අදහසක්. එයින් කියලා කියන්නේ මොකක්ද? අර කලින් කිව්වා වගේම අරක ‘දෙයක්’. අපි අර දේදුන්නට යමු ආයෙත් දැන් අරක දේදුන්නක් කර ගත්කු කෙනා, අර දරුවා, සමහරවිට අම්මාගෙන් අඬලා ඉල්ලාවි “අනේ මට අර දේදුන්න දෙනකම් මම නිදාගන්නේ නෑ. මට කොහොම හරි ඒ දේදුන්න දෙන්න”. ඉතින් ඒ දරුවා දේදුන්නක් කරගෙනයි අරක ගැන හිතන්නේ. අරක සාමාන්‍ය දුටුදෙයක් හැටියට නොවෙයි. ඒක තියෙන දෙයක්. ලබා ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ විදියටම ඊළඟට දේදුන්නෙහි ඒ දරුවා ජීවත් වෙන්නේ, දේදුන්න ඇතුළේ. හීනෙනුත් දකීවි දේදුන්න. ඔන්න ඔය විදියේ තත්ත්වයක්. මේ පොඩි උපමාවක් අවස්ථානුකූලව ගත්තේ. මේක ආශ්‍රයෙන් හිතාගන්න පුළුවන් ‘න තෙන’ - එතකොට බාහිය ඔබ යම් අවස්ථාවක එයින් නොවන්තේද - එයින් කියලා කියන්තේ අර ‘දුටුවෙන්’, ‘ඇසුනෙන්’, ‘දැනුනෙන්’, ‘සිතුවෙන්’ එහෙම නැත්නම් සිතාගත් දෙයින්. ඒ විදියටම හිතන්න යන්නේ නැත්තම්, එවිට බාහිය ඔබ එහි නොවන්නේය. ඔබ දිට්ඨයෙහි නොවන්නේය. ඒකටත් ඕන නම් නිදර්ශනයක් දෙමු, හොද බංගලාවක් හදාගත්තාම ඒක පිළිබදව ලොකු ආඩම්බරයක් ඇති පුද්ගලයා කරන්නේ මොකක්ද? ඒක ඉස්සරහ තමා පෙනී සිටලා කැමාරාකාරයෙක් ලවා පින්තූරයක් ගන්නවා. මේ මොකද, ඒක තුළින් පෙන්නුම් කරන්නේ බංගලාව අයිතිකාර මහත්තයයි. එතකොට එතන තියෙන්නේ ඒ පින්තූරය බලන කොට, පින්තූරය ඇතුළෙයි මේ පුද්ගලයා ඉන්නේ.

අන්න ඒ වගේම මේ උපමාව ආශ්‍රයෙන් හිතාගන්න, යම් අවස්ථාවක අරක පිළිබදව මාන්නයක් ඇති කර ගත්තේ නැත්තම්, ආශාවක්, තණ්හා මාන දිට්ඨී ආදි වශයෙන් ගැනීමක් නැත්තම් - තණ්හා මාන දිට්ඨී, කියන එක ආශ්‍රයෙන් ඔය වචන තේරුම් ගන්ට පුළුවන් වෙන්නේ - ඒ විදියට කෙලෙස් ඇති කර ගන්තේ නැත්තම්, එවිට ඔබ එහි නොවන්නේය. අර දිට්ඨිය ඇතුළේ නොවෙයි ඔබ එතකොට. අර සංගීතය ඇතුළේ නොවෙයි ඔබ. ඒ මුළාව නෑ. ඒ විදියට අර දැනුනු දේ ඇතුළේ නොවෙයි ඔබ. ඒවා ඒ ඒ හැටියෙමයි. ඒ ඒ තැන්වලමයි. දැන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යථා භූත ඥාණ දර්ශනය. ඇත්ත ඇති හැටියට දැක්වීමයි බුදු පියාණන් වහන්සේ කරන්නේ. නැත්ත ඇති හැටියට දැක්වීම නෙවෙයි. නැත්ත නැති හැටියටත්, ඇත්ත ඇති හැටියටත් දැක්වීමටයි බුදු පියාණන් වහන්සේලා ලෝකේ පහල වෙන්නේ. ඒකමයි මෙතන කියවිලා තියෙන්නේ. දුටුවෙහි දුටු බව පමණක්ම වන්නේය, ඒක උඩ වවන්න යන්න එපා තවත්. ඒකේ අතු ඉති ගොඩනැගෙන්න ඉඩ අරින්න එපා. ඉඩ ඇරියොත් එතන යන්නේ කෙලෙස් නිසා එක්කෝ රාගයට, එක්කෝ ද්වේෂයට, එක්කෝ මෝහයට තව නොයෙකුත් කෙලෙස්වලට, ඇදගෙන යනවා. අන්න ඒක නිසා මෙතන බුදු පියාණන් වහන්සේ දෙන්නේ දැඩි ශික්ෂණයක්. දුටුවෙහි දුටුමාත්‍රයම පමණක්ම වන්තේය. ඒ විදියට වුනාම මොකද වෙන්නේ? එවිට ඔය ‘එයින්’ නොවන්නේය. එයින් නොවන විට ඔබ ‘එහිද’ නොවන්නේය. ‘එහි’ නොවනවා නම් - ඔන්න එතන එනවා ගැඹුරුම කොටස, - යතො ත්වං බාහිය න තත්ථ තතො ත්වං බාහිය නෙව ඉධ නහුරං න උභයමන්තරේ - එසෙවන්තො දුක්ඛස්ස. එසේ නම් බාහිය ඔබ මෙහිත් නොවෙයි. එහිත් නොවෙයි. මේ දෙක අතරත් නොවෙයි. මෙන්න මෙතනයි දුකෙහි කෙළවර. නිවන.

දැන් එතකොට අපි හිතලා බලමු - අර මුවා ගැන කියාපු කථාවත් ඒතෙන්ට ගන්ට වෙනවා. අපිට අර විදියට හික්මෙන අවස්ථාවට පත්වුනාම හිතට වැටහෙන්තේ කොහොමද? ‘ඔබ මෙහිත් නොවෙයි.’ තමා මෙතන ඉන්තවා කියන හැඟීමත් නැති වෙනවා. මොකද තමා සහ අනුත් - තමා සහ ලෝකය පිළිබදව මෙතෙක් සංසාරයේ අරගෙන ආපු ඒ ප්‍රස්තුතය, ඒ අදහස පවා විදර්ශනා ප්‍රඥාවෙන් මැකිලා යනවා. එවිට ඔබ මෙහිත් නොවේ එහිත් නොවේ. මේ දෙක අතරත් නොවේ. දැන් අර මුවා ගැන අපි කිව්වේ ඒ මිරිඟුව දැකලා සැහෙන දුරක් දුවලා ගිහිල්ලා ආපසු හැරිලා බැලුවා කියලා. බැලුවාම මෙතනයි මිරිඟුව තියෙන්තේ. ආපස්සට දිව්වා. ආයෙත් මෙතනදී හැරිලා බලනකොට අතනයි. ඉතින් ඔය විදියටයි මුවා ක්ලාන්ත වෙලා වැටෙන්තේ අර මිරිඟුව ඔස්සේ දිවීමෙන්. අපිට දෙවිදියකට කියන්ට පුලුවන්. පස්ස නොබලාම ගියොත් දිගටම ගිහිල්ලා කවදා හරි මැරිලා වැටෙනවා. මේ විදියට ගියොත් එතනත් මෙතනත් අතරේ එහාට මෙහාට දුවලා හති හෙම්බත්වෙලා මැරිලා වැටෙනවා.

දැන් පින්වතුනි හිතලා බලන්න. මේ සංසාරයේ මොකක්ද කෙරෙන්නේ. මේ පින්වතුන් බොහෝ විට පින් දහම් කරන්නේ මෙලොවට විතරක් නොවෙයි, එලොවට. මෙලොව එලොව කියලා දෙකක් තියෙනවා. එලොවට යමක් කරගන්න කියලා පින් දහම් කරනවා. නරක නෑ ඒක, හොඳයි. පින් වලින්, කුසල් වලින්, සිත පිරිසිදු වෙනවා. නමුත් අපි හිතමු අපි අවුරුද්දේ ඒක කැවුම් ගෙඩියක් බෙදනවා, පිණ්ඩපාතෙට. මේ කැවුම් ගෙඩිය වගේ අපිට දහසක් කැවුම් ලැබේවා කියලා. හොදයි කොහොම හරි විපාක හැටියට කැවුම් දස දහසක් ලැබුනය කියලා හිතමු. ඒක ඉවර වුනාට පස්සේ - එහෙම නැත්තම් - එකෙ පිනෙන් දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා හිතමු. ඒ පින ඉවර වුනාට පස්සේ ආයෙත් මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා කැවුම් උයලා කැවුම් දෙන්න ඕන. අන්න එතනත් අර මුවාගේ වැඩේ වගේ. තෘප්තියක් නෑ නේ. සෑහීමක් නෑ නේ. එතන තෘප්තිය කියලා කියන්නේ, සෑහීමකට පත් වීම කියන්නේ, මුවාගේ පිපාසය සංසිඳවා ගැනීමට අවශ්‍ය දේ. මොකක්ද, වතුර. වතුර වගෙයි පෙනෙන්නේ අර ඈත පෙනෙන පොපියන ස්වභාවය. ඒක නිසා වතුර සොයාගෙන යනවා. වතුර ලැබෙන්නේ නැහැ. ආපසු එන්න වෙනවා. මෙතන වතුර පේන නිසා. ඒ වගේ මේ සංසාර සත්ත්වයා මෙලොව පුලුවන් තරම් පංච කාම සම්පත්තිය විඳිනවා. අතීත පින නිසා ලැබිච්ච ඒ ධන සම්පත්වලින් කාලා බීලා නටලා හැම එකක්ම කරනවා. ඒත් සෑහීමකට පත්වන්නේ නැහැ. ඒක නිසා මොකක්ද කරන්නේ, කොහොම හරි කැවුම් ගෙඩියක් හරි බෙදලා ඒකට සෑහෙන්න - ඊටත් වඩා නොසෑහෙන තරමට දස - කෝටි ගණන් එකේ ආනිසංස පතනවා. නමුත් ඒක ලැබුනා හෝ නොලැබුනා හෝ ආයෙත් මෙතෙන්ටම එනවා. මිරිඟුව ඔස්සේයි දුවන්නේ.

ඉතින් මේක කෙනෙක් හිතන්න තරකයි. පින් දහම් කරනවට විරුද්ධව කියන කියමනක් කියලා. නමුත්ඔන්න ඔය විදියේ මහ පුදුම දෙයක් තියෙනවා, මේ මධ්‍යම ප්‍රතිපදාව කියන බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ. ඒක තමයි මේ ධර්මයට කියන්නේ විදුරු මිණක් කියලා. විදුරු මිණ කියන එක මේ පින්වතුන් දන්නවා. වජ්‍ර මාණික්‍යය අනෙක් මැණික් කපන්න පුලුවන් මැණිකක්. ඒ වගේයි බුදු පියාණන් වහන්සේගේ ධර්මය. මේක කපාගෙන යනවා. පින් දහම් කියලා ඔය අපි අල්ලගෙන තියෙන දේවල් පවා අන්තිමට එක අවස්ථාවක් එනවා ඒවාත් අත හරින්න වෙනවා. ඒක තමයි බුදු පියාණන් වහන්සේ ගැඹුරින් ප්‍රකාශ කරන්නේ එකක්වත් අල්ල ගන්න එපා කියලා. නමුත් ඒක එකපාරට කරන්න පුලුවන් දෙයක් නොවේ. ඉස්සෙල්ල පින් දහම් - දැන් ශීලාදී ගුණධර්ම වලින් එක මට්ටමකින් සන්සිඳීමක් ඇති කර ගන්නවා. ඊළඟට සමාධි භාවනා වඩලා හිත තැන්පත්කර ගන්නවා. ඒ එකකවත් රැඳී හිටින්නේ නෑ. ඉන් සෑහීමකට පත්වෙන්නේ නෑහැ. දැන් මම හොඳ ශීලවන්ත පුද්ගලයෙක් කියලා එතන සෑහීමකට පත්වෙන්නේ නැහැ. දැන් මං ලොකු සමාධි ධ්‍යාන තත්ත්ව ලබා ගත්තය, අහසින් යන්න පුලුවන් වුනාය, කියලා ඒකෙන් සෑහීමකට පත්වන්නේ නැහැ. අවසාන දේ මොකක්ද? ප්‍රඥාවෙනුයි සංසාර විමුක්තිය තියෙන්නේ. ඒ නිසා ප්‍රඥාව කියන එක සමාන කරලා තියෙනවා ඔය වජ්‍ර මාණික්‍යයට. ඒ හැම මැණිකක්ම කපන මැණිකක්. ඒක මහ පුදුමයි. ඒ කියන්නේ විනිවිද යනවා.

  දැන් මෙතනත් කලේ විනිවිද යාමක්. දිට්ඨේ දිට්ඨ මාත්‍රයෙන් - දුටුවෙහි දුටුබවින් නවතින්න කියලා කියන්නේ මොකද? සාමාන්‍යයෙන් වෙන්නේ මොකක්ද? දුටුබවෙහි ගිහිල්ලා පටලැවෙනවා. කොතෙකුත් දැකලා තියෙනවා දැන් ඔය බල්ලෙක් එහෙම ඒ දණ්ඩක් උඩදී - එහෙම නැත්නම් කථාවක් අහලා ඇති මේ පින්වතුන් අර හිවලෙක් මස් කැල්ලක් අරගෙන ඒ දණ්ඩක් උඩින් යනකොට වතුරේ ඡායාව දැකලා වෙන හිවලෙක් මස් කැල්ලක් අරගෙන යනවා කියලා අරක අත ඇරලා ගිහිල්ලා පැන්නා. උදුරාගන්න. අන්න ඒ වගේ මේ දිට්ඨයට දුටු දෙයට රැවටිලා කොයි තරම් සංසාරයේ සත්ත්වයා දුකට පත්වෙනවද? ඒක තුළින් ඇති කරගන්න වැරදි අවබෝධය, වැරදි සිතිවිලි මාර්ගය නිසා රෑ දවල් නැතුව, දුටු දර්ශනයක් ආශ්‍රයෙන් කෙනෙක් මුළු ජීවිතයම කැප කරලා පරිත්‍යාග කරලා මුළාවට පත්වෙනවා. නමුත් ඒ තත්ත්වය නියම තත්ත්වය තේරුම් ගන්නේ නෑ. අමුතුවෙන් මේක ප්‍රහේලිකාවක් හැටියට නොකිව්වොත්, අපි හිතමු යම්කිසි කෙනෙකුට, ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ තමන් ප්‍රිය කරන පුද්ගලයකුගේ දර්ශනයක් දකින්න ලැබෙනවා. මේක තුළින් ඇති කර ගන්නා සිතිවිල්ල තුළ ඒ තැනැත්තා මරාගෙන ඊළඟට අනිත් අයවත් මරාගෙන ඒ තැනැත්තා හෝ තැනැත්තිය ලබා ගන්න උත්සාහ කරලා අන්තිමට අපායගාමී වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකද? අර දුටුවෙහි දුටුමතින් නතර වුනේ නැහැ. ඒක පුද්ගලයෙක් කියලා හිතාගත්තා. සදාකාලිකව හැමදාම මා සමග ඉන්න පුලුවන් කෙනෙක් කියලා හිතාගත්තා. ඉතින් අර බාහිය දාරුචීරිය ආදී අතීතයේ රහතන් වහන්සේලා ජීවිත පරිත්‍යාග කළේ වෙන දෙයකට. නමුත් මේ කාලෙ ඉනිමං පෙරළන්නේ, ඔක්කොම කරන්නේ, මේ සංසාරය සඳහා. අන්න ඒක නිසා මේ වගේ කාරණා ආශ්‍රයෙන් හිතාගන්න ඕන අර දුටුවෙහි දුටු මතින් නතර වෙනවා කියලා කිව්වේ. අන්න අර මිරිඟුවට නොරැවටෙන ස්වභාවයක් හිතේ ඇතිකර ගන්නවා. ලෝක සම්මුතිය වශයෙන් අපි මේ දකින දේවල් පිළිබඳව එදිනෙදා කටයුතු සඳහා ව්‍යවහාර කරන්නෙ වෙනවා ‘දේවල්’ කියලා. නමුත් ප්‍රඥාවෙන් විනිවිද දකින්න ඕන.

දැන් යමක් විනිවිද දකිනවා කියන එක මේ පින්වතුන් දන්නවා. කෙනෙක් ඒ විනිවිද දකින ශක්තිය ඇති දෙයකින් යමක් බලලා ඒක අහක් කළාට පස්සේ ඒක ඒ විදියටම පෙනෙනවා. ඒ විදියට අර මෙතන කියන්නේ ප්‍රඥා ශක්තිය තුළිනුයි කෙනෙකුට චිත්ත විමුක්තිය ලැබෙන්නේ. ඒක නිසා විදර්ශනා ප්‍රඥාව ලබා ගත්තු පුද්ගලයාට ඒ යථා ස්වභාවය දකින්න පුලුවන්. නමුත් එපමණකින් ඒ තැනැත්තා ජීවිතය කෙළවර කරගන්නවා නෙවෙයි. අනෙකුත් කටයුතු කරනවා. ඒ ප්‍රඥාවෙන් ලබා ගත්ත අත්දැකීම ඒ තැනැත්තා තුළ ගැබ් වෙලා තියෙනවා. හිත ඇතුළේ ගැබ්වෙලා තියෙනවා. කොයි තරම් ද කියතොත් අවසානයේදී පිරිනිවන්පාන අවස්ථාවේ අර බාහිය දාරුචීරිය රහතන් වහන්සේ වගේ නැවත උත්පත්තියක් ලබන්නේ නෑ. සංසාරයෙන් මිදිලා. අර කිව්ව සංසාර සිතිවිලි බන්ධනයෙන් මිදිලා. සිතිවිලි බන්ධනය කඩා ගත්තා, අර බාහිය දාරුචීරිය රහතන් වහන්සේ. ඒකයි පිරිනිවන් පානවා කියලා කිව්වේ. රහතන් වහන්සේලා මැරෙන්නේ නෑ. මැරෙනවා කියන වචනය ලෝකේ යොදන්න පුලුවන්. මැරෙනවා කියන වචනයත් එක්කම යන අනිත් එක උපදිනවා. මේක යුගල වශයෙන් යන්නේ, ජෝඩු වශයෙන් යන්නේ. අර අපි කිව්වේ - එහිත් මෙහිත්, කියලා කිව්වේ. එතනයි මෙතනයි කියන දෙකක්. අපි වැට කඩොලු හදාගෙන තිබෙනවා. එහෙම හදාගත්තම තමයි මැදකුත් තිබෙන්නේ. ඒකයි අර ඔබ මැදත් නෙවෙයි කියලා කිව්වේ. කෙනෙක් අහන්න පුලුවන් මෙතන නෙවෙයි නම්, මෙතන නැත්නම්, එතන ඉන්න ඕන. එතනත් නැත්නම් මැද ඉන්න ඕන කියලා. ඕකයි තර්කය ලෝකේ. දැන් මේ පින්වතුන් දන්නවනේ පක්ෂ කියන එකක් ලෝකේ තියෙනවා. ඒවා ගැන හිතුවත් එහෙම තමයි. එක්කෝ මෙතන ඉන්න ඕන. එක්කෝ එතන ඉන්න ඕන. එහෙම නැත්නම් මැද ඉන්න ඕන. දැන් මෙතන තියෙන්නේ මහ පුදුම දෙයක්. බාහිය ඔබ මෙහිත් නැත එහිත් නැත. ඒ දෙක මැදත් නැත. මොකද, මෙතන ඇත නැත කියන ඒ ව්‍යවහාරය පවා අන්තිමට ඉවර වෙනවා. අන්තිමට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ පැවැත්ම කියන එක, මුළු මහත් ලෝකයේ හැම ශාස්තෘවරයෙක්ම ලොකුවට ගන්න පැවැත්ම, මේක නියම පැවැත්මක් නෙවෙයි, පැවැත්මක් පිළිබඳ මාන්නයක් පමණයි කියලා. හිතෙන් ඇති කර ගත්තු භ්‍රාන්තියක්, මුළාවක්, රැවටිල්ලක් පමණයි. මේ මුළාව උඩයි ලෝකේ දුවන්නේ. එතනත් මෙතනත් අතර, එලොවත් මෙලොවත් අතර, මනුෂ්‍ය ලෝකයත් දිව්‍ය ලෝකයත් අතර. ඔය විදියට මේ දුවන ගමනේ කෙළවරක් නෑ. ඒ ප්‍රාර්ථනා වල කෙළවරක් නෑ. ඕකයි බුදු කෙනෙක් ලෝකයාට හඳුන්වා දෙන්නේ. ඕකටයි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බුදු පියාණන් වහන්සේලා පාරමී පුරන්නේ. වෙන සමාජ ධර්මයක් දේශපාලන ධර්මයක් උගන්වන්න නෙවෙයි. ඒවා අතරතුරින් කිව්වා නමුත් බුද්ධ දේශනාවේ හරය ඕකයි.

  මේ මුළු මහත් සංසාරයෙන් මිදීමේ රහස, ඒ ඒ පුද්ගලයාගේ චරිතානුකූලව අවබෝධ ශක්තිය අනුව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඉඟියක් හැටියට. ඒ ඉඟිය යම් කෙනෙක් ඒ අවස්ථාවේ තේරුම් ගත්තා නම් එක මොහොතක එක ගාථා පදයකින්, ඒ තැනැත්තා නිවන් දුටුවා. අන්න එතකොට ඒ විදියට මේ පින්වතුන්ට හිතාගන්න පුලුවන් මේ දේශනාව තුළ ඉතාම ලොකු ගැඹුරක් තියෙනවා. මේක ගැඹුරු හැටියට පේන්නේ ඇත්ත වශයෙන්ම අර භාවනාමය වශයෙන් හිත දියුණු නොකර ගත්තු පුද්ගලයාටයි. අර බාහිය දාරුචීරිය උපාධි ඇති කෙනෙක් නොවෙන්න පුලුවන්. අර මුහුදේ තමන්ගේ නැව බිඳුනට පස්සේ දුකසේ ජීවිතය ගෙනගිය පුද්ගලයෙක්. නමුත් අතීතයේ ලබාගත්තු ඒ පාරමී ශක්තිය පිහිට කරගෙනයි අර තරම් කෙටි දේශනාවක් තුළින් අර්හත්වය පවා ඉතා ක්ෂණිකව ලබා ගත්තේ. අන්න ඒක නිසා අපි හිතාගන්න ඕන දැනුම කියන එක, ලෝකයේ ගොඩ ගැහෙන දෙයක්. ඒකට යටවෙලා බොහෝ දෙනා මිරිකිලා - දැනුමෙන් මිරිකිලා - ජීවිතය ගෙවනවා. දැනුම නිසාම සමහර විට නොයෙකුත් විදියේ කපටිකම් කරලා අන්තිමේ අපායගාමී වෙනවා. දැනුම නෙවෙයි ඇත්ත වශයෙන් අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව කියන එක වැටහීම් ශක්තියක්, විනිවිද යන දෙයක්. අර වජ්‍ර මාණික්‍ය වැනි දෙයක්. ඒක ඒ විදියට පොත් පත් වලින්වත්, සල්ලිවලින්වත්, උපාධි වලින්වත් ලබාගන්ට බෑ. ඒකට යන මාර්ගය තමයි ශීල, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ.

දැන් මේ පින්වතුන් මේ වටිනා පෝය දවසේ ශීලයක් සමාදන් වුනා, මා හිතනවා වැඩි දෙනෙක්ම. අනිත් ඇත්තොත් උත්සාහවත් වෙන්න ඕන. භාවනාව කියලා කියන්නේ හිත වඩා ගැනීමයි. ඒක සංඝයා වහන්සේලාට විතරක් අයිති දෙයක් නෙවෙයි. දැන් මේ බාහිය දාරුචීරියට - අර වල්කළා අඳගෙන හිටියේ - සිවුරක්වත් නෑ. රහත් වුනා. ඒ වගේම මේ පින්වතුන් කල්පනා කරන්නට ඕන, අපි ගිහි ජීවිතයේ හිටියත් අපි බෞද්ධයෝ නම් අපි කරන්න ඕනේ මේ ශික්ෂා මාර්ගයේ ගමන් කිරීමයි. එතකොට ඒ විදියට ශීලය පදනම් කරගෙන කය, වචනය හික්මවා ගෙන, ඊළඟට හිත තැන්පත් කරගන්න ඕන. ප්‍රධාන වශයෙන් පළමුවෙන්ම සමාධියක්, යම් කිසි කර්මස්ථානයක් කමටහනක්. ඒකට සමහර විට ලොකු වචන ඕනෙ නෑ. එක වචනයක් ‘සුවපත් වේවා’ ‘අරහං’ කියන ඒ විදියේ පදයක් ආශ්‍රයෙන් තමන්ගේ හිත කුසල් අරමුණක තැන්පත් කර ගැනීමයි සමාධිය කියලා කියන්නේ. ඒ විදියට තැන්පත් කර ගත්තානම් එපමණකින් බොහෝ දුරට හිත දිවිල්ල නතර වෙනවා. නමුත් ඉවර වුනේ නෑ. ඊට වඩා ගැඹුරට යන එක තමයි විදර්ශනා ප්‍රඥාව.

එතකොට ඒකේ සාරයයි අපි මේ කළ දේශනාව තුළ තිබෙන්නේ. ඇත්ත වශයෙන් කියනවා නම් ශීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවම බාහියගේ වැටහීම් ශක්තියට ගැලපෙන ආකාරයට බුදු පියාණන් වහන්සේ මේ දේශනාව තුළින් ඉදිරිපත් කරලා තියෙනවා. අපිත් අපේ මට්ටමින් මෙක තුළින් නෙළා ගන්න ඕන, අපේ ජීවිතයට උපකාර වන ආකාරයෙන්. අර විදියට මේක සිහිනයක්, මුළු මහත් සංසාරයම එක්තරා සිහිනයක් කියලා හිතා ගන්න ඕන. ඒකට සමහර විට කෙනෙකුට බය හිතෙන්න පුලුවන්. නමුත් තම තමන්ගේ සිහින ගැන හිතලා බලන්න. දැන් සිහිනය කියන එකේ සිහිනය දකින වේලාවට ඇත්ත දෙයක්. අන්තිමට නැගිටලා බලනකොට සිහිනයේ ඇති දෙයක් හැටියට පෙනුනු දේවල් එහෙම පිටින්ම වෙනස්. සමහර විට හොඳ ආහාරයක් කියලා කාලා තියෙන්නේ කොට්ටේ. අනිත් දේවලුත් එහෙමයි. ඒ රෑ දකින හීන. ඇත්ත වශයෙන් කියනවා නම් මුළු මහත් අතීතය ගැන හිතලා බලන්න. මේ පින්වතුන් කුඩා අවදියේ ඉඳලා, මුළු මහත් අතීතය ගැන හිතලා බලන කොට ළමා අවදිය, තරුණ අවදිය, ඒ හපන්කම් ඒවා ගැන හිතලා බලන කොට මේ වයස්ගත මහත්වරු එහෙම හිතලා බලනකොට ඒවා හීනයක් නේද? ඊයේ රෑ දැක්ක හීනය වගේ අතීතය කියන එක. ඊළඟට අනාගතය කියලා මේ ලොකු ප්‍රාර්ථනා ඇති කරගෙන තියෙන අනාගතය ගැනත් අපි හිතලා බලමු. යම් කිසි අවස්ථාවක්, ඒක අද අර දකින හීනය කියලා හිතාගන්න. අද රෑට පේන හීනයයි කියලා. එතකොට මෙතෙක් මේ අද දවසේ කරන ටික. ඒක ගැන මොකක්ද කියන්න තියෙන්නේ. ඒකට කියන්න තියෙන වචනය සමහර විට හාස්‍යජනක දෙයක් වෙන්න පුලුවන්. දවල් හීනයක් වගේ. අන්න ඒ විදියේ දෙයක් මේ පැවැත්ම කියන එක. ඒකයි බුදු පියාණන් වහන්සේ මුළු මහත් සංසාර පැවැත්මම මුළාවක්, මායාවක්, හැටියට ප්‍රකාශ කළේ. විඤ්ඤාණය කියන එකත් මායාවකට, විජ්ජාකාරයෙක් ‘නැති දෙයක් ඇති හැටියකට’ පෙන්වන මායාවකට බුදු පියාණන් වහන්සේ උපමා කරලා තියෙනවා.

එතකොට මේ බාහිය සූත්‍රයෙන් කියන හැටියට දුටුවෙහි දුටුමතින් නතරවෙන්නේ මොකද? ‘දුටු දෙයක් කියලා’ ගන්න දෙයක් නෑ. ‘ඇසූ දෙයක්’ කියලා ගන්න දෙයක් නෑ. අපි අර දේදුන්න ගැන සංගීතය ගැන මිරිඟුව ගැන කිව්වා වගේ. නමුත් අපි හිතාගන්නවා. හිතාගැනීම් ගොඩක් ලෝකේ තියෙන්නේ. අපේ සම්මුතිය අනුව එහෙම නැතුව කියන්නත් බෑ. අනිත් අය එක්ක කතාකරන්න බැහැ නේ, ඒ භාෂාවෙන්, අපේ විදර්ශනා භාෂාවෙන්. ඒක නිසා සම්මුති වශයෙන් අපිට කියන්න සිද්ධ වෙනවා දේදුන්නක් පායනවා කියලා. වැස්සක් වහිනවා. වැස්ස වෙනමද වැහීම වෙනමද කියන එක හිතලා බලන්න ඕන. දැන් වැස්සක් වහිනවා. එතකොට වැස්ස කියන එක වහින දේය. ක්‍රියාව වැහීම. වහින එක. මේ දෙක වෙන් කරන්න පුලුවන්ද? බැහැ නේද? අන්න ඒ වගේම තමයි මේ ක්‍රියා මාත්‍ර ගොඩක් මෙතන තියෙන්නේ. ඉතින් ඒ සංස්කාර ගොඩක්. අපි මේකෙන් හදාගන්නවා ලෝකයක්. හදාගෙන, මවාගෙන, මේක අපි බෙදාගෙන, වැට කඩොලු ගහගෙන, එතනයි මෙතනයි කියලා, ඒ සංසාර ගමනයි මේ අපි එලොවයි මෙලොවයි කියල කරන්නේ. මේක එලොවටත් නැති මෙලොවටත් නැති දෙයක් - මේ මුළු මහත් සංසාර පැවැත්ම. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ පැවැත්ම වෙනුවට නැවැත්ම දේශනා කොට වදාළේ. නිවන කියලා කියන්නේ නැවැත්මයි. නිවීමයි. මේක සාමාන්‍ය ලෝකයාට ප්‍රියමනාප දෙයක් නෙවෙයි. ලෝකයා කැමති දැවීමටයි, දිවීමටයි. දැවීමටත් දිවීමටත් කැමති ලෝකයාට නිවීමටත් නැවතීමටත් කරන ආරාධනාව සමහර විට අප්‍රිය වෙන්න පුලුවන්. නමුත් බුදුවරු කියන්නේ එච්චරයි. බුද්ධ දේශනාව කියලා කියන්නේ ඒකයි. එතකොට අන්න නවතින්න, නිවෙන්න - ඒකටයි බුදු පියාණන් වහන්සේ මේ විදියේ දේශනා කළේ. ඒවායින් ඒ නිවුනු නැවතුනු පුද්ගලයින් තමයි මේ රහතන් වහන්සේලා කියලා කියන්නේ.

අන්න එහෙම කල්පනා කර ගෙන අද මේ වටිනා පෝය දවසේ මේ පින්වතුන් සාමාන්‍ය ලෝකයා ගැඹුරුයි කියලා අයින් කරන, දැන් කාලේ තේරුම් ගන්න බැරියයි කියලා හිතන දේශනාවකටයි සවන් දුන්නේ. නමුත් මේ පින්වතුන්, ගැමි පින්වතුන් වුනත් අපි සිතනවා. භාවනාවට සිත යොමුකරලා තිබෙනවා නම් මෙබඳු මේ දේශනා පවා තේරුම් ගන්න පුලුවන් ශක්තියක්, තරමක හෝ ශක්තියක්, ඇතෙයි කියලා. ඉදිරියටත් ඒ ශක්තිය දියුණු කරගැනීමට, ඒවාට උපදෙස් ගන්න පුලුවන් අය ළහට ගිහිල්ලා සමථ විදර්ශනා වශයෙන් ඒ සියලුම ශක්තීන් තමන්ගේ චිත්තශක්තීන් දියුණු කරගෙන හැකිතාක් ඉක්මණින් - මේ දේශනාව අවස්ථාවේ ඇති කරගත්තු ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ආදි ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන් තව දුරටත් දියුණු කරගෙන මේ ජීවිතය තුළදීම සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග ඵල ප්‍රතිවේධයෙන් මේ අති භයානක සංසාරයෙන් අත්මිදිලා, අර සිතිවිලි බන්ධනයෙන් මිදිලා, අමා මහ නිවනින් සැනසීමට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න.

ඒ වගේම අද දින මේ ධර්ම දේශනාමය වශයෙන් අපි රැස් කරගත්තු කුශලයත්, ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තු කුශලයත් විශේෂයෙන්ම ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු අවීචියේ පටන් අකනිට්ඨා දක්වා අපගේ ඥාතීන් ඇතුළු යම්තාක් අය සිටිනවා නම් පින් අනුමෝදන් වෙන්න, ඒ හැම දෙනෙක්ම මේ කුශලය අනුමෝදන් වේවා, අනුමෝදන් වී තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහා නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතිකරගෙන මේ විදියට ගාථා කියල පින් පමුණුවන්න.

‘එත්තාවතා ච අම්හේහි…………..’